Glocal Fair 2024

විදෙස්රැකියා අවස්ථා සහ කම්කරු ගැටලු සඳහා විසඳුම්ඇතුළු සේවාවන්රැ සක්රැගෙන Glocal Fair 2022 ගාලුපුරයෙන්ගමන්අරඹයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ අධීක්ෂණය යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී දැවැන්ත ජනතා සහභාගිත්වයක් සහිතව පැවැත්විණි. දේශීය සහ විදේශීය රැකියා අපේක්ෂිතයන් මෙන්ම විදේශ රැකියා අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන වෙතින් විවිධ සේවා ඉටුකර ගැනීමටද විශාල පිරිසක් එම දෙදින පුරා සමනල ක්‍රීඩාංගනය වෙත පැමිණියහ. කම්කරු සේවා ගැටලු හා විදේශ රැකියා අවස්ථා මෙන්ම තරුණ පිරිස් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත්කිරීම්ද මෙම වැඩසටහනට ඇතුළත්ව තිබිණි. සහභාගි වූ පිරිස් වෙත විවිධ සේවා, උපදෙස් සහ පහසුකම් ලබාදීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ගණනාවක්ද Glocal Fair 2022 සමඟ එක්ව සිටීම විශේෂ කරුණකි.

Glocal Fair 2022 යනු රට පුරා විසිරී සිටින විවිධ ජන කොටස් සඳහා අවශ්‍ය වන දෙස් විදෙස් රැකියා පිළිබඳ තොරතුරු හා සේවාවන් ගමින් ගමට රැගෙන යමින් වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔවුන්ට සේවය සැපයීමට රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහන් මාලාවක ආරම්භක පියවරයි. ගාල්ලෙන් ගමන් අරඹන Glocal Fair වැඩසටහන් මාලාව දිවයින පුරා පළාතෙන් පළාතට ගමන් කරන ජංගම සේවාවක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Glocal Fair 2022 සමාරම්භක උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රීක්කයේ විගමණික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමටත් කටයුතු කෙරිණි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින් සමත් දූදරුවන් වෙත මෙම ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ පිරිනමනු ලැබිණි. එහිදී පාසල් දරුවන් 108 දෙනකුට ශිෂ්‍යත්ව සහ දරුවන් 124 දෙ‍ෙනකුට පාසල් උපකරණ ලබදීමට හැකි විය. එසේම, විදෙස් රැකියාවන්හි නිරතව සිට මෙරටට පැමිණි විගමණිකයන් 28 දෙනකුට ස්වයං රැකියා ආධාර ලබා දීමටත්, ජපානයේ තාක්ෂණික පුහුණුව අවසන් කර පැමිණි පුහුණු ලාභීන් හතර දෙ‍ෙනකුට ප්‍රතිලාභ ලබා දීමද එහිදී සිදු කෙරිණි. 

Glocal Fair 2022 සමාරම්භක උත්සවයේදී, පැමිණ සිටි පිරිස් අමතමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා සඳහන් කළේ අතිශය අභියෝගාත්මක කාල වකවානුවක මෙරට ජනතාවට අත්වැලක් සැපයිය හැකි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය:

 “ලබන වසරේ ලෝක අවපාතයක සලකුණු තියෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත්ම ජනතාව දැඩිලෙස පීඩාවට පත්වෙනවා කියන එක මෙවර වොෂින්ටන් වාර්ෂික රැස්වීමේ සමාරම්භයේදීම සඳහන් වෙලා තියෙනවා. මේ තමයි අපි ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දැනට මුහුණ දෙන්නට වගේම ඉදිරියට මුහුණ දෙන්න වෙලා තිබෙන තත්ත්වය. පසුගිය වසරෙදිත් ඔවුන් මේ ගැන පූර්ව මතයන් පළකළා. ඒ වන විටත් එවකට පැවති දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ වගේම ගනු ලැබූ වැරදි තීරණ ඉතා ඉක්මනින් අපිව රටක් ලෙස ආර්ථික අවපාතයකට ගෙනයන බව අපි මුල සිටම දැක්කා. අපි ඒ වෙනුවෙන් ඒ වන විටත් දිගින් දිගටම හඩ නැගුවා. මේ යන විදියට ගියොත් අපි බංකොලොත් රටක් වෙනවා කියලා දිගින් දිගට මං ප්‍රකාශ කළා. ඒ වගේම රට වෙනුවෙන් අපි එකාවන්ව එකතුව වැඩ කරන්නට ඕන බවත් අපි දිගින් දිගටම කියාසිටියා.”

සාමූහික හැඟීමෙන් යුතුව කටයුතු කරමින් දැඩි දුෂ්කරතා මධ්‍යයයේ යුවද ගෙවීගිය කාලය පුරා මෙරට කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්‍රය ආශ්‍රිත සංවර්ධන කටයුතු රැසක් දියත් කිරීමට කටයුතු සැලසුම් කළ හැකි වූ බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, ගුවන්තොටුපොලේදීි ලබාදෙන තීරු බදු සහන ඉහළ දැමීමට කටයුතු සැලසුම් කිරීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුබසිද්ධිය උදෙසා මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සැලසුම් කිරීම, රැකියා සඳහා විදෙස්ගත වන සහ විදෙස් රැකියාවල නියුතුව සිට ආපසු මෙරටට එන සැමට විශේෂ සැලකිල්ල සහිත පහසු හා කඩිනම් සේවාවන් සලසන ප්‍රවේශ දොරටුවක් ලෙස හෝප් ගේට් විදෙස් සේවා VIP පිවිසුම හඳුන්වාදීම, විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවට සහන පොලියට බැංකු ණය සැලසුම් කිරීම වැනි කටයුතු රැසක් මේ වනවිටත් සකසා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.