Glocal Fair 2024

තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනයට පණ දුන් Glocal Fair 2022 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ගාල්ල සහ අවට ප්‍රදේශවාසී සැමට දෙස් විදෙස් රැකියා ආශ්‍රිත ඉතා වැදගත් තොරතුරු සහ සේවාවන් රැසක් සැපයීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම රැකියා නියෝජිත ආයතන ගණනාවක් ගාල්ලේ පැවති මෙම Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට එක්ව සිටි අතර, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට වැදගත් උසස් අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණු සැසි සහ අනාගත රැකියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම් වැඩසටහන් පෙළක්ද මේ දෙදින පුරා සමනල ක්‍රීඩාංගනයේදී ඉදිරිපත් කෙරිණි. වැඩසටහනට සහභාගි වූ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර තරුණ තරුණියන් විශාල පිරිසක්ද ඉතා උද්‍යෝගයෙන් සහ උනන්දුවෙන් ඔවුන්ට වැදගත් අධ්‍යාපන සහ පුහුණු සැසි සඳහා සම්බන්ධව සිටියහ. 

විශේෂ වශයෙන් තරුණ පරපුර වෙනුවෙන්ම සැලසුම් කරන ලද අනාගත රැකියා ඉඩප්‍රස්ථා පිළිබඳ දැනුවත් කිරීම් සහ පුහුණු සැසි Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන තුළ විශේෂයෙන් කැපී පෙනිණි. එහිදී තරුණ ප්‍රජාවට අවශ්‍ය නිසි මඟපෙන්වීම, දැනුම, පුහුණුව සහ මාර්ගෝපදේශකත්වය සැපයීමට පිළිගත් ආයතන සහ සංවිධාන රැසක් ඉදිරිපත්ව සිටිනු දක්නට ලැබිණි. එසේම, විදෙස් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් වැඩසටහනට සහභාගි වීමට පැමිණි සිටි තරුණ පිරිස් සඳහා අවශ්‍ය සවිස්තරාත්මක උපදෙස් සහ විදෙස් රැකියා පිළිබඳ තොරතුරු ලබාදීමට විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් දැඩි කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරමින් Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සාර්ථක කරගැනීමට වැදගත් දායකත්වයක් සැපයීම බොහෝ පිරිසකගේ අවධානයට සහ පැසසුමට පාත්‍ර විය. තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනයට පණ දීමට Glocal Fair 2022 ජංගම සේවය සමග සම්බන්ධ වූ විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලබාදීමටද කටයුතු සැලසුම් කර තිබිණි.  ඒ ඔවුන් විසින් තරුණ තරුණියන් වෙනුවෙන් මෙන්ම Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඉටුකළ මෙහෙය අගය කිරීමක් ලෙසය.

ගෙවී ගිය වසරේ ඔක්තෝබර් 15 සහ 16 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති Glocal Fair 2022 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ජංගම සේවයේ සාර්ථකත්වය පසුපස සිටි ප්‍රධාන පාර්ශ්වයක් ලෙස මෙකී විදේශ රැකියා නියෝජිත ආයතන කැපීපෙනිණි. දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු ආශ්‍රිත සේවා සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු විවිධ සේවාවන්, උපදෙස් සහ පහසුකම් රැසක් දිවයින පුරා රැගෙන යන  Glocal Fair ජංගම සේවයේ  ආරම්භක පියවර සඳහා එක් ව සිටි විදෙස් රැකියා නියෝජිත ආයතන ගණන තිස් අටකි. ඔක්තෝබර් 15 සහ 16 දින දෙක තුළ පමණක් විදෙස් රැකියාවක් සදහා යොමුවීමේ මූලික සුදුසුකම් සහිත අයදුම්කරුවන් දසදහසක් ඔවුන් විසින් හදුනාගෙන තිබිණි. ඒ අයදුම්කරුවන් විදෙස් රැකියාවන් සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බවත් ඔවුන් විසින් තහවුරු කර තිබේ.