Glocal Fair 2024

ඵලදායීතාවයට නිසි අගයක් එක්කළ Glocal Fair 2022 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පවත්වන ලද්දේ, දෙස් විදෙස් රැකියා ආශ්‍රිත ඉතා වැදගත් තොරතුරු සහ සේවාවන් රැසක් සැපයූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම රැකියා නියෝජිත ආයතන ගණනාවක සහභාගිත්වය සහ සහයෝගය ඇතිවය. Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට සම්බන්ධ වූ මෙම සියලු පිරිස් අතර ජාතික ඵලදායිතා ආයතනයද විශේෂයෙන් කැපී පෙනිණි. එම ආයතනයේ මූලිකත්වය ඇතිව ගාල්ල ප්‍රදේශයේ ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයක්ද සංවිධානය කර තිබිණි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ. 

Glocal Fair 2022 දෙවන සහ අවසන් දිනයේ සමාරම්භක කටයුතුවලින් අනතුරුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් රැස්ව සිටි පිරිස අමතා මෙසේ අදහස් පළ කළේය. “ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ආයතන 145ක් ජාතික ඵලදායිතා සම්මාන සහ සහතික ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබුණා. හරි වෙලාවේ හරි දේ හරි විදියට කිරීමයි ඵලදායීතාවය කියලා කියන්නේ. අපි පහුගිය දවස්වල කළේ ඒ දේ තමයි. ඵලදායීතාවයට තියෙන හොඳම උදාහරණයක් තමයි Glocal Fair 2022 ජංගම සේවය. අපි හරි වෙලාවේ දී හරි තීරණ අරගෙන හරි විදියට කටයුතු කරනවා නම් අපේ සහ රටේ ඵලදායීතාව විතරක් නෙවෙයි සංවර්ධනයත් ළගාකරගන්න පුළුවන්.”

විවිධ කරුණු හේතුකොටගෙන අතිශයින් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාව වඩා ඵලදායී හෙට දවසක් වෙත රැගෙන යෑමේ වගකීම සහ යුතුකම දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් සහ විදෙස්ගත ශ්‍රමිකයින් ඇතුළු සියලුදෙනා විසින්ම වටහාගත යුතුව ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. වසංගත රෝග, ආර්ථික අර්බුද සහ සෙසු ගැටලු හමුවේ රටේ අනාගතය වෙනුවෙන් සමස්ත ජනතාව සියලු බේද පසෙක ලා එකට එක්ව කටයුතු කිරීමෙන් සැබෑ ඵලදායීත්වය ළඟාකර ගැනීමට හැකි වනු ඇතැයිද පැවසූ ඔහු වඩා ඵලදායී හෙටක් ගොඩනගන්නට එකා සේ එක්වෙමු යැයි ඉල්ලීමක්ද කළේය.