Glocal Fair 2024

Glocal Fair 2022 ආරම්භක දිනය අතිසාර්ථකව පැවැත්වෙයි  

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව සැලසුම් කරන ලදුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් 15 වැනිදා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී ආරම්භ කරන ලද Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන ගාල්ල සහ අවට ප්‍රදේශවාසී ජනතාවගේ ඉහළම පැසසුමට පාත්‍රවිය. දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු ආශ්‍රිත සේවා සහ උපදෙස් මෙන්ම වෘත්තීය පුහුණු හා රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන අවස්ථා ඇතුළු සේවාවන් රැසක් ලබාගැනීමේ පහසුව සැමට සලසමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන බොහෝ පිරිසකගේ අනාගත රැකියා සිහින සැබෑ කිරීමට උපකාරී වනු ඇති බව ඔවුහු පැවසූහ. ඔවුන් පෙන්වාදුන් පරිදි, Glocal Fair 2022 ආරම්භක දිනය වූ ඔක්තෝබර් 15 වැනිදා ඔවුන් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට අලුත් වෙනසක් එක්කළ සුවිශේෂ දිනයකි. විශේෂයෙන්ම, කලක් තිස්සේ ඔවුන් සිහින මැවූ විදෙස් රැකියා සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය නිසි මඟ කියාදුන් දිනය ලෙස එය ඔවුන්ගේ මතකයේ සදා රැඳී පවතිනු ඇතැයිද ඔවුන් පැවසුවේ සිය ප්‍රසාදාත්මක අදහස් අවංකව පළකරමිනි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් ඒකාබද්ධව ඉතා සැලසුම් සහගත අයුරින් සංවිධානය කරන ලද Glocal Fair 2022 පළමු දවස ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකිවූයේ බොහෝ පිරිසකගේ කැපවීම සහ සහයෝගය නිසාය. විශේෂයෙන්ම, විවිධ සේවා සහ උපදෙස් මෙන්ම විශේෂ පුහුණු සැසි ඉදිරිපත් කළ ආයතන සහ කණ්ඩායම් මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ඒ සඳහා සැපයූ දායකත්වය සුවිසල්ය. 

විදෙස් රැකියා සහ කම්කරු අමාත්‍යංශයේ සේවා ලබා ගැනීමට ගාල්ල සහ ඒ අවට බොහෝ පිරිසක් Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට සහභාගි වූහ. විදේශ රැකියා අපේක්ෂාවෙන් පැමිණි තරුණ තරුණියන් හට සේවා සැපයීමට රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටියහ. සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසදා ගැනීමට දහසකට වැඩි පිරිසක් ආරම්භක දිනයේ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටියහ. එදින මුළු දවස පුරා, එනම් උදේ 9.00 සිට සවස 5.00 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී මේ සියලු සේවාවන් ලබා ගැනීමට හැකියාව සලසා තිබිණි. සහභාගි වූ තරුණ තරුණියන් ඇතුළු ප්‍රදේශවාසී සැමගේ සතුට සහ විනෝදය වෙනුවෙන් එදින සවස 7.00 සිට ෆ්ලෑෂ්බැක් සංගීත සන්ධ්‍යාවද පැවැත්විණි.