Glocal Fair 2024

Glocal Fair 2022 සාර්ථක කරගැනීමට දායක වූ සැමට තුති පිදෙයි   

දකුණු ලක ගාලු පුරයේ සහ අවට ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු සඳහා කඩිනම් විසඳුම් සහ වෘත්තීය පුහුණු සැසි ඇතුළු විවිධ සේවාවන් සහ පහසුකම් රැසක් ලබාදීමේ අරමුණ ඇතිව 2022 ඔක්තෝබර් 15 සහ 16 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවති Glocal Fair 2022 ඉතා ඵලදායී අයුරින් නිමාවිය. ඒ සඳහා සහාය ලබාදුන් සැමට ස්තුතිවන්ත වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා පැවසීය. ජනතා සේවය උදෙසා රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත Glocal Fair ජංගම සේවයේ ආරම්භක පියවර මෙසේ සාර්ථක කරගැනීමට හැකිවූයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක දායකත්වය නිසා බවත්, ඔවුන් සියලුදෙනාට ජනතාව වෙනුවෙන් සිය ස්තුතිය පුදකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන්ම, බොහෝ පිරිසකගේ විදෙස් රැකියා සිහින සැබෑකර ගැනීමට අවස්ථාව සැලසීම පිණිස විදෙස් රැකියා නියෝජිත ආයතන ලබාදුන් සහාය ඉතා වැදගත් බවද සඳහන් කළ අමාත්‍යවරයා විදෙස් රැකියා පිළිබඳ බොහෝ අය තුළ පැවති අනවබෝධය දුරුකිරීමට එම ආයතන විසින් ලබාදුන් තොරතුරු සහ උපදෙස් උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසීය.  

දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ දැනුම, අවබෝධය සහ මාර්ගෝපදේශයන් ලබාදෙන අතරම රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවද ගාල්ලේ පැවති Glocal Fair 2022 වැඩසටහනට සහභාගි වූ විශාල පිරිසකට ලැබිණි. මැදපෙරදිග රටවල මෙන්ම ලොව පුරා වෙනත් රටවලද විදෙස් රැකියා අවස්ථා සඳහා ඉදිරිපත්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම විදෙස් රැකියා නියෝජිත ආයතන මගින් ජනතාවට ලබාදෙනු ලැබිණි. එයට අමතරව ජපන්, කොරියානු සහ ඊශ්‍රායල් විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරුද Glocal Fair 2022 වැඩසටහනට සහභාගි වූවන්ට ලබාගත හැකි විය. ඒ සමඟම විදෙස් රැකියා සදහා සුදුසුකම් සැපිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛන සත්‍යාපන කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශන සේවා, සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු, පැමිණිලි සහ අනෙකුත් සියලු පහසුකම් සලසා ගැනීම, මහ බැංකුවේ සාමාජික ගිණුම් සම්බන්ධ සියලු සේවාවන් ඇතුළු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සියලු සේවාවන් මෙහිදී පිරිනැමිණි.

‘ජීවිතයට සරු මඟක්’ යන තේමාව යටතේ Glocal Fair 2022 ප්‍රථම පියවර මෙසේ සාර්ථකව අවසන් වීමත් සමඟ මෙම ජංගම වැඩසටහන රට පුරා රැගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙනු ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි Glocal Fair ජංගම වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යෑමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා අනුබද්ධ ආයතන කටයුතු කරනු ඇත.

Glocal Fair 2022 අතිසාර්ථකව පැවැත්වීමට සහාය ලබාදුන් සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම විවිධ අයුරින් සවිය ලබාදුන් අනුග්‍රාහක භවතුන් සහ සහභාගි වූ ජනතාවටද අමාත්‍යවරයා සිය ස්තුතිය පළකර සිටියේය.