Glocal Fair 2024

දකුණෙන් ඇරැඹූ Glocal Fair ජංගම චාරිකාවේ දෙවැනි පියවර උතුරට

ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් අරඹන ලද අති සාර්ථක Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනෙහි දෙවැනි පියවර උතුරු පළාතට රැගෙනයෑමට මේ වනවිටත් කටයුතු සැලසුම් කෙරෙමින් පවතී. ජනතා සේවය උදෙසා දිවයින පුරා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පුළුල් වැඩසටහන් මාලාවක් වන Glocal Fair ක්‍රමානුකූලව පළාතෙන් පළාතට රැගෙන යමින් සමස්ත ජන ප්‍රජාවන්ගේ සුබසිද්ධිය උදාකරලීම සිය අරමුණ බව මේ පිළිබඳව අදහස් දක්වන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා පවසයි. එතුමන්ගේ සංකල්පයකට අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා අනුබද්ධ ආයතන මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විදේශ සේවා නියෝජිත ආයතන රැසක් ඒකාබද්ධව දියත් කළ මෙම ජංගම වැඩසටහන මගින් මෙවැනි අතිශයින් අභියෝගාත්මක කාල වකවානුවක ජනතාවට විවිධ අයුරින් සහාය ලබාදිය හැකි වනු ඇත. දකුණෙන් උතුරට ගමන් කරන Glocal Fair දෙවැනි පියවර ඔස්සේද යාපනය ඇතුළු උතුරුකරයේ වෙසෙන විශාල පිරිසකගේ දිවිගමනට අත්වැල සැපයීමට අපේක්ෂිතය.   

‘ජීවිතයට සරු මඟක්’ යන තේමාව සහිතව දකුණු ලක ගාලු පුරයෙන් ගමන් ඇරඹූ Glocal Fair ජංගම වැඩසටහන උතුරු පුරයේ යාපනය වෙත රැගෙන යෑමට සැලසුම් කරනු ලැබ ඇත්තේ ‘උතුරට කලඑළියක්’ යන නව තේමාව යටතේය. Glocal Fair 2023 සමාරම්භක ව්‍යාපෘතිය එළැඹෙන පෙබරවාරි 25 සහ 26 දෙදින යාපනය ඓතිහාසික කොටු පවුරු දොරටුව අභියස දී පැවැත්වෙන බවත්, උතුරේ තරුණ තරුණියන් දෙස් විදෙස් රැකියා ගතකිරීම සේ ම ජනතාව මුහුණ දෙන ගැටලු එකම වහළක් යටදී විසඳාදීමට කටයුතු කිරීම එහි අපේක්ෂාව බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේ දී පැවසීය.

Glocal Fair 2023 සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවකට යාපනයේ දී එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේ ය.

“දකුණේ අත්හදා බැලීමක් විදියට කරපු Glocal Fair 2022 නියමු ව්‍යාපෘතියෙන් පසු ග්ලෝකල් ෆෙයා 2023 පළමු ව්‍යාපෘතිය යාපනයෙන් ආරම්භ කරනවා. 

උතුර දකුණ එකට යා වෙන්න ඕනෑ කියන එක අපි හැමෝගෙම පැතුම වුණත් උතුරේ තරුණ තරුණියන්ටත් ජනතාවටත් බොහෝ දේ අහිමියි. මම මගේ උපන් ප්‍රදේශය ගැන හිතන්නේ කොයි ආකාරයට ද, යාපනය ගැන, උතුර ගැන මගේ හැගීමත් ඒකමයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආකල්පයත් ඒකමයි.”

යාපනය සහ අවට ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු සඳහා කඩිනම් විසඳුම් සහ වෘත්තීය පුහුණු සැසි ඇතුළු විවිධ සේවාවන් සහ පහසුකම් රැසක් ලබාදීමේ අරමුණ ඇතිව 2023 වසරේ මුල් කාර්තුව තුළ උතුරු පළාතේ පැවැත්වීමට අපේක්ෂිත Glocal Fair 2023 සමඟ එක්ව එයින් නිසි ඵල නෙළාගැනීමට උතුරුකරයේ සැමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ දැනුම, අවබෝධය සහ මාර්ගෝපදේශයන් ලබාදෙන අතරම රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවද යාපනයේ පැවැත්වෙන Glocal Fair 2023 වැඩසටහනට සහභාගි වන සැමට හැකි වනු ඇත. මැදපෙරදිග, ජපානය, කොරියාව සහ ඊශ්‍රායලය ඇතුළු ලොව පුරා විවිධ රටවල විදේශ රැකියා පිළිබඳ තොරතුරු මෙම වැඩසටහනට සහභාගි වූවන්ට ලබාගත හැකිය. ඒ සමඟම විදෙස් රැකියා සදහා සුදුසුකම් සැපිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛන සත්‍යාපන කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශන සේවා, සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු, පැමිණිලි සහ අනෙකුත් සියලු පහසුකම් සලසා ගැනීම, මහ බැංකුවේ සාමාජික ගිණුම් සම්බන්ධ සියලු සේවාවන් ඇතුළු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සියලු සේවාවන් මෙහිදී ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.