Glocal Fair 2024

GLOCAL 2022 – Press Article 2

තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනයට පණ දුන් Glocal Fair 2022  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ගාල්ල සහ අවට ප්‍රදේශවාසී සැමට දෙස් විදෙස් රැකියා ආශ්‍රිත ඉතා වැදගත් තොරතුරු සහ සේවාවන් රැසක් සැපයීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම රැකියා නියෝජිත ආයතන ගණනාවක් ගාල්ලේ පැවති මෙම Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට එක්ව සිටි අතර, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට වැදගත් උසස් අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණු සැසි සහ අනාගත රැකියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම් වැඩසටහන් පෙළක්ද මේ දෙදින පුරා සමනල ක්‍රීඩාංගනයේදී ඉදිරිපත් කෙරිණි. වැඩසටහනට සහභාගි වූ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර තරුණ තරුණියන් විශාල පිරිසක්ද ඉතා උද්‍යෝගයෙන් සහ උනන්දුවෙන් ඔවුන්ට වැදගත් අධ්‍යාපන සහ පුහුණු සැසි සඳහා සම්බන්ධව සිටියහ.  විශේෂ වශයෙන් තරුණ පරපුර වෙනුවෙන්ම සැලසුම් කරන ලද අනාගත රැකියා ඉඩප්‍රස්ථා පිළිබඳ දැනුවත් කිරීම් සහ පුහුණු සැසි Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන තුළ විශේෂයෙන් කැපී පෙනිණි. එහිදී තරුණ ප්‍රජාවට අවශ්‍ය නිසි මඟපෙන්වීම, දැනුම, පුහුණුව සහ මාර්ගෝපදේශකත්වය සැපයීමට පිළිගත් ආයතන සහ සංවිධාන රැසක් ඉදිරිපත්ව සිටිනු දක්නට ලැබිණි. එසේම, විදෙස් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් වැඩසටහනට සහභාගි වීමට පැමිණි සිටි තරුණ පිරිස් සඳහා අවශ්‍ය සවිස්තරාත්මක උපදෙස් සහ විදෙස් රැකියා පිළිබඳ තොරතුරු ලබාදීමට විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් දැඩි කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරමින් Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සාර්ථක කරගැනීමට වැදගත් දායකත්වයක් සැපයීම බොහෝ පිරිසකගේ අවධානයට සහ පැසසුමට පාත්‍ර විය. තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනයට පණ දීමට Glocal Fair 2022 ජංගම සේවය සමග සම්බන්ධ වූ විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලබාදීමටද කටයුතු සැලසුම් කර තිබිණි.  ඒ ඔවුන් විසින් තරුණ තරුණියන් වෙනුවෙන් මෙන්ම Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඉටුකළ මෙහෙය අගය කිරීමක් ලෙසය. ගෙවී ගිය වසරේ ඔක්තෝබර් 15 සහ 16 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති Glocal Fair 2022 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ජංගම සේවයේ සාර්ථකත්වය පසුපස සිටි ප්‍රධාන පාර්ශ්වයක් ලෙස මෙකී විදේශ රැකියා නියෝජිත ආයතන කැපීපෙනිණි. දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු ආශ්‍රිත සේවා සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු විවිධ සේවාවන්, උපදෙස් සහ පහසුකම් රැසක් දිවයින පුරා රැගෙන යන  Glocal Fair ජංගම සේවයේ  ආරම්භක පියවර සඳහා එක් ව සිටි විදෙස් රැකියා නියෝජිත ආයතන ගණන තිස් අටකි. ඔක්තෝබර් 15 සහ 16 දින දෙක තුළ පමණක් විදෙස් රැකියාවක් සදහා යොමුවීමේ මූලික සුදුසුකම් සහිත අයදුම්කරුවන් දසදහසක් ඔවුන් විසින් හදුනාගෙන තිබිණි. ඒ අයදුම්කරුවන් විදෙස් රැකියාවන් සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බවත් ඔවුන් විසින් තහවුරු කර තිබේ.

GLOCAL 2022 – Press Article 1

විදෙස්රැකියා අවස්ථා සහ කම්කරු ගැටලු සඳහා විසඳුම්ඇතුළු සේවාවන්රැ සක්රැගෙන Glocal Fair 2022 ගාලුපුරයෙන්ගමන්අරඹයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ අධීක්ෂණය යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී දැවැන්ත ජනතා සහභාගිත්වයක් සහිතව පැවැත්විණි. දේශීය සහ විදේශීය රැකියා අපේක්ෂිතයන් මෙන්ම විදේශ රැකියා අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන වෙතින් විවිධ සේවා ඉටුකර ගැනීමටද විශාල පිරිසක් එම දෙදින පුරා සමනල ක්‍රීඩාංගනය වෙත පැමිණියහ. කම්කරු සේවා ගැටලු හා විදේශ රැකියා අවස්ථා මෙන්ම තරුණ පිරිස් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත්කිරීම්ද මෙම වැඩසටහනට ඇතුළත්ව තිබිණි. සහභාගි වූ පිරිස් වෙත විවිධ සේවා, උපදෙස් සහ පහසුකම් ලබාදීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ගණනාවක්ද Glocal Fair 2022 සමඟ එක්ව සිටීම විශේෂ කරුණකි. Glocal Fair 2022 යනු රට පුරා විසිරී සිටින විවිධ ජන කොටස් සඳහා අවශ්‍ය වන දෙස් විදෙස් රැකියා පිළිබඳ තොරතුරු හා සේවාවන් ගමින් ගමට රැගෙන යමින් වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔවුන්ට සේවය සැපයීමට රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහන් මාලාවක ආරම්භක පියවරයි. ගාල්ලෙන් ගමන් අරඹන Glocal Fair වැඩසටහන් මාලාව දිවයින පුරා පළාතෙන් පළාතට ගමන් කරන ජංගම සේවාවක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. Glocal Fair 2022 සමාරම්භක උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රීක්කයේ විගමණික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමටත් කටයුතු කෙරිණි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින් සමත් දූදරුවන් වෙත මෙම ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ පිරිනමනු ලැබිණි. එහිදී පාසල් දරුවන් 108 දෙනකුට ශිෂ්‍යත්ව සහ දරුවන් 124 දෙ‍ෙනකුට පාසල් උපකරණ ලබදීමට හැකි විය. එසේම, විදෙස් රැකියාවන්හි නිරතව සිට මෙරටට පැමිණි විගමණිකයන් 28 දෙනකුට ස්වයං රැකියා ආධාර ලබා දීමටත්, ජපානයේ තාක්ෂණික පුහුණුව අවසන් කර පැමිණි පුහුණු ලාභීන් හතර දෙ‍ෙනකුට ප්‍රතිලාභ ලබා දීමද එහිදී සිදු කෙරිණි.  Glocal Fair 2022 සමාරම්භක උත්සවයේදී, පැමිණ සිටි පිරිස් අමතමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා සඳහන් කළේ අතිශය අභියෝගාත්මක කාල වකවානුවක මෙරට ජනතාවට අත්වැලක් සැපයිය හැකි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය:  “ලබන වසරේ ලෝක අවපාතයක සලකුණු තියෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත්ම ජනතාව දැඩිලෙස පීඩාවට පත්වෙනවා කියන එක මෙවර වොෂින්ටන් වාර්ෂික රැස්වීමේ සමාරම්භයේදීම සඳහන් වෙලා තියෙනවා. මේ තමයි අපි ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දැනට මුහුණ දෙන්නට වගේම ඉදිරියට මුහුණ දෙන්න වෙලා තිබෙන තත්ත්වය. පසුගිය වසරෙදිත් ඔවුන් මේ ගැන පූර්ව මතයන් පළකළා. ඒ වන විටත් එවකට පැවති දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ වගේම ගනු ලැබූ වැරදි තීරණ ඉතා ඉක්මනින් අපිව රටක් ලෙස ආර්ථික අවපාතයකට ගෙනයන බව අපි මුල සිටම දැක්කා. අපි ඒ වෙනුවෙන් ඒ වන විටත් දිගින් දිගටම හඩ නැගුවා. මේ යන විදියට ගියොත් අපි බංකොලොත් රටක් වෙනවා කියලා දිගින් දිගට මං ප්‍රකාශ කළා. ඒ වගේම රට වෙනුවෙන් අපි එකාවන්ව එකතුව වැඩ කරන්නට ඕන බවත් අපි දිගින් දිගටම කියාසිටියා.” සාමූහික හැඟීමෙන් යුතුව කටයුතු කරමින් දැඩි දුෂ්කරතා මධ්‍යයයේ යුවද ගෙවීගිය කාලය පුරා මෙරට කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්‍රය ආශ්‍රිත සංවර්ධන කටයුතු රැසක් දියත් කිරීමට කටයුතු සැලසුම් කළ හැකි වූ බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, ගුවන්තොටුපොලේදීි ලබාදෙන තීරු බදු සහන ඉහළ දැමීමට කටයුතු සැලසුම් කිරීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුබසිද්ධිය උදෙසා මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සැලසුම් කිරීම, රැකියා සඳහා විදෙස්ගත වන සහ විදෙස් රැකියාවල නියුතුව සිට ආපසු මෙරටට එන සැමට විශේෂ සැලකිල්ල සහිත පහසු හා කඩිනම් සේවාවන් සලසන ප්‍රවේශ දොරටුවක් ලෙස හෝප් ගේට් විදෙස් සේවා VIP පිවිසුම හඳුන්වාදීම, විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවට සහන පොලියට බැංකු ණය සැලසුම් කිරීම වැනි කටයුතු රැසක් මේ වනවිටත් සකසා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.